ලියාපදිංචි සාමාජිකයන් ;)

Monday, January 20, 2014

සෙල්ලම ලෙල්ලම

             " දඩාස් " ගාගෙන ආ ශබ්දයෙන් මවිතයට පත්වූ මම ගෙමිදුලට බැස අවට සෝදිසි කරන්නට විමි. " මේ ආච්චි කටවහගෙන ඉන්නවද ? අච්චිට වැඩක් නෑනෙ . ගිහින් ආච්චිගෙ වැඩක් බලාගන්න " කියමින් පහළගෙදර තරූ මල්ලි සිය අත්තම්මාට බැණ වදිනු ඇසේ .

          " අම්මපා මුන්ට සෙල්ලම් කරන්න වෙන තැන ඇත්තෙම නැද්ද ? මේ පාරෙ සෙල්ලම් කරන්නෙ . අපේ ගෙවල් දොරවල් කඩාබිඳ දමන්නෙ නැතුව  පිට්ටනියට ගියාම නරකද ? "

             යනුවෙන් අත්තම්මා පෙරළා තරූ ඇතුළු කොලු පිරිසට ඇනුම් පද කියයි. සිහුවී ඇති දෙය දැන් මට ද වැටහිණි. ළමයින් පාරේ සෙල්ලම් කරන අතරතුර වේගවත්ව ආ බෝල් පහරක් සෝමාවති අත්තම්මාගේ ගෙදර වහලයට වැදී තිබේ . එයින් උරන වූ අත්තම්මා ළමයින්ට බැණ වදියි . මැය ජීවත් වන්නේ තරූලගේ නිවසට යාබදව සදාගත් කුඩා නිවෙසකය. මෙහි බිත්ති මැටි ගඩොලින් තනා ඇති අතර වහළයට තාර කොළ සෙවෙනි කොට තිබේ.

              සීන් කයක් ද යටැසින් බලන තියුණු නෙත් සඟලකින්ද යුතු තරූ දඟකාර මුරණ්ඩු කොල්ලෙකී . ඔහුට මේ ගති ආවේශ වූයේ ඔහුගේ පියාගෙන් යැයි විටෙක මට සිතේ.

             " මේ ආච්චි කටවහගෙන ඉන්න බැරිනං මෙතනින් යන්න " කියමින් ඔහු සිය ආත්තම්මා සමඟ යලිත් වාදයට පැටලෙයි . දුරදිග නොසිතා උපහාසයට මෙන් තරූ කියූ මේ වදන් තුළින්දැඩිසේ සිත් තවුලටත් කෝපයටත් පත් අත්තම්මා . " උබලා දෝතින් ගෙනැවිත් හදාවඩා කරඳඬු උස්මහත් වුණාට පස්සේ කියන ආඩපාලි තමයි ඔය " කියමින් සිය නිවස ඉදිරිපිට තමා වාඩිවී සිටි කොස් කොටයෙන් නැගිට ගසා බසා දමා ගෙතුලට ගියා ය .

              " අනේ අම්මේ මගෙ කකුල අහුවුණා . ඉන්න බෑ රිදෙනවා " යනුවෙන් බෙරිහන් දෙන හඬක් ඊට මද වෙලාවකට පසුව මට ඇසුනු . මීට මොහොතකට පෙර කෝපාග්නියෙන් වෙලී සිටියද වෙඩරු පිඩක් මෙන්  උණුවන හදවතක් ඇති ආත්තම්මා තුළින් මේ මොහොතේ මතුවී ආයේ සානුකම්පිත සිතිවිලි දහරාවකී  " අනේ මගෙ සුදුපුතාට මොකද වුණෙ. මම කිව්වනේ පාරේ සෙල්ලම් කරන එක හොද වැඩක් නෙවීය කියලා . ඒක පාරේ යන එන මිනිසුන්ටත් කරදරයක් නෙවෑ " මම දිවගොස් බලන විට පාරේ යන බයිසිකල්කරුවෙකුගේ බයිසිකලයකට හැප්පීම නිසා තරූ බියෙන් මොර දෙයි .

               " මේ පොඩි ඈයන්ට මුළු පාරම මදි සෙල්ලම් කරන්න අනූනවයෙන්  බේරුණා . මගේ වරදක් නෑ . මුන් විහින් කරගන්න දේවල් " යැයි බයිසිකල්කරු කෝපයෙන් කෑගෑවේය . තරූට දරුණු තුවාලයක් සිදු නොවුණද මෙවිට හටගත් බිය නිසා තරූ කෑගසයි ඔහුගේ කෑගැසීම නිසාදෝ සෙල්ලමේ යෙදී සිටි අනෙක් කොලු පිරිස ඇතුළු ගම්වාසීන් කිහිප දෙනෙක් ඔහු වටකරගෙනය.

                  මේ වෙලාවේ තරූලාගේ නිවස බලාකියා ගැනීමට සිටියේ අත්තම්මා පමණි . තරූගේ පියාද රැකියාවට ගොස්ය . තරූට තව චූටි මල්ලි කෙනෙකු සිටින අතර මව ඔහුගෙ කටයුත්තක් සඳහා බැහැර ගොස්ය.

                " අපි ඉක්මනට ගිහින් තෙල් බේත් ටිකක් ගාමු "යි කියූ ඇය අසළ සිටි මාගේත් සහය ඇතිව තරූ වාරුකරගෙන සිය නිවස වෙත පියමැන්නාය . සිය මුණුපුරා ඇඳක හාන්සිකරවා හනි හනිකට මුළුතැන්ගෙට ගොස් ලිපෙහි තිබූ උණු අළු ටිකක් ගෙන පරන පිරිසිදු රෙහි කඩකට දමා පොට්ටනියක් සෑදුවාය . ඉන්පසු තෙල්බේත් බෝතලයද ළං කරගෙන තරූගේ කකුලේ පහළ සිට ඉහළට ආදාගත් පොට්ටනියෙන් කකුල තවන්නට විය . කකුලේ වේදනාව ටිකෙන් ටික නිවීයන විට තරූට සිය අත්තම්මා ගැන දුක හිතුණි . ඈ දුන් අවවාද පිළිගත්තා නම් මෙසේ නොසිතූ ලෙස අනතුරකට පත් නොවන බව ඔහුට වැටහී ගියේ දැන්ය

               " අනේ අත්තම්මේ මම ආයිත් අත්තම්මාට බනින්නේ නෑ." කියමින් තරූ තම හිත අත්තම්මාගේ ළයට තද කොට ඉකිබිඳින්නට විය . " නාඬා ඉඳින් . මම උඹත් එක්ක තරහා නෑ . මම උඹට ආදරෙයි . කියමිනත්තම්මා තරූගේ හිස අතගෑවාය

1 comment:

  1. වැඩිහිටියන් අවවාද කරනකොට පොඩි අය හිතන්නෙ තරහට කියලා , ඒත් පස්සෙ තමයි තේරෙන්නෙ එහෙම කියන්නෙ ආදරේට කියල නේද .

    ReplyDelete