ලියාපදිංචි සාමාජිකයන් ;)

Tuesday, June 17, 2014

ජනමාධ්‍ය ජනමතය හසුරවන අයුරු

         පසුගිය දශක තුනක කාලය තිස්සේ ජනමාධ්‍ය සමාජය හා ජනමතය හසුරවන මූලිකම බලවේගයක් බවට පත් වෙමින් පවතී . ඉතා ම ඈත අතීතයේ දී එනම් පුරාතන යුගයේ දී සමාජය හා ජනමතය මෙහෙයවන බලවේගය වූවේ පුරාණොක්තිය, එනම් ඇදහිලි හා විශ්වාස හා බැඳුණු කථා ය . ඒ දෘෂ්ටිවාදී න්‍යෂ්ටිය වූයේ එම විශ්වාස මත ගොඩනැගුණු ප්‍රබන්ධ ය .ලෝකය යෝධයකු විසින් ඔසොවා සිටිනු ලබන තැනක් ලෙසත්, අහසේ සුවිශාල දේව මණ්ඩලයක් පවතින කලක දී මිනිස්සු විශ්වාස කළ හ .

         මධ්‍යතන යුගයේදි ජනමතයේ කේන්ද්‍රය වූයේ ආගම් ය. ආගමික සංවිධානවල දෘෂ්ටිවාද එකල ජනතාව ගේ සිතිවිලි හා ක්‍රියාකාරකම් මෙහෙයවී ය .

          නූතන විද්‍යාවේ හා තර්ක් ශාස්ත්‍රය කරා විස්ථාපනය වී වර්තමාන පශ්චාත් නූතන යුගයේදි ජනමතය මෙහෙයවන බලවේගය බවට ජනමාධ්‍ය වත් ව තිබේ .

          අප පත්තර බලන්නෙ නෑ  ටීවී බලන්නෙ නෑ ඒ නිසා මාධ්‍යයෙන් අපට එවැනි බලපෑමක් නෑ යැයි කෙනෙකු තර්ක කරන්නට ඉඩ තිබේ . එහෙත් එවැනි මාධ්‍ය ඇසුරු නො කරන පුද්ගලයකුට පවා මාධ්‍ය මගින් සුළු බලපෑමක් හෝ ඇති කරයි .

          මාධ්‍ය ප්‍රබල ලෙස ඇසුරු කරන පුද්ගලයාට ඇති වන බලපෑම මාධ්‍ය හා දක්වන සබඳතාවේ ස්වරූපයට අනුලෝමව සමානුපාතික ය .

            මාධ්‍යය අද අත්පත් කරගෙන සිටි මේ බලය මනෝවිද්‍යාත්මකව ද පැහැදිලි කළ හැකි ය . භීතිය ජනනය කිරීමෙන් පුද්ගලයා පාලනය කළ හැකි බව මිනිසා අවබෝඬ්අ කර ගත්තේ මනෝ විශ්ලේෂණය අද මෙන් වර්ධිත තත්වයකට පත් වන්නට බොහෝ කලකට පෙර ය .

            යම් යම් දෙයින් බියට පත් වීමත් ඒ බිය පාදක කොටගෙන චර්යාත්මක වෙනස්කම් සිදු වීමත් මිනිසාට අනන්‍ය දෙයකී . සත්ත්වයන් තුළ ද .මේ ලක්ෂණය යම් පමණකට පවතී . අතීත බැරන්වරු හා බිෂොප්වරු මිනිසුන් බිය ගැන්වීම ( ශාරීරීකව හා මානසිකව ) මගින් පාලනය ගෙන ගිය හා ඊට පෙර ගෝත්‍රික නායකයෝ ද එය කළ හ . අද ඒ බැරන්වරු ගේථ් ගෝත්‍රික නායකයන් ගේත් කාර්යය ඉටු කරන්නේ ජනමාධ්‍ය ය .අතීතයේ දී බිය පමණක් පාළනය සඳහා යොදාගත් අතර අද බිය සමග වින්දනය ද යොදා ගැනේ .

             මේ දේ ගැන බිය වන්නැයි උපදෙස් දෙන මාධ්‍යය ම.වෙන දෙයක් පෙන්වා මේ මඟින් වින්දන ලබන්න යැයි ද උපදෙස් දෙයි . " මේ මිනිසා සැක කරන්න " යනුවෙන් යම් මාධ්‍යයක් ඔබට පණිවිඩයක් දෙයි . ඇතැම් විට ඔබ එය නොතකා සිටී . එහෙත් යළි  යළිත් ඒ පණිවිඩය ම ලැබෙන්නට වුව හොත් ඔබට එය නොතකා හැරීම අසීරු වේ .

             ඔබ මාධ්‍ය සාක්ෂරතාවෙහි කූටප්‍රාප්ත අයකු නම් ඇතැම් විට ඔබට එය හසුරුවාගත හැකි වේ . එහෙත් බහුතරය එසේ නො වේ . එනිසා යම් මොහොතක දී ඔබ ඒ මාධ්‍ය සංඥාවේ ග්‍රහණයට හසු වේ . එවිට ඔබ අර පුද්ගලයා සැක කරන්නට හෝ අඩු ම වශයෙන් ඔහු සැක කළ යුතු දැයි ඔබ ගෙන් අසා ගන්නා තත්වයට පත් වේ . වින්දනයට අදාළ තත්වයද මෙබඳු මය . මාධ්‍යය යම් භාණ්ඩයක් , සේවාවක් හෝ සංකල්පයක් හෝ ඔබ වෙත පා , මෙය විඳින්න යැයි දන්වයි . දින කීපයකට පසු මාධ්‍ය උපදෙස් දුන් ආකාරයට ඔබ එය විඳිනු දැකගත හැඉ වේ .

             මාධ්‍ය  ජනතාව හසුරවන්නට ක්‍රියාත්මක වන්නේ ප්‍රධාන ක්‍රම දෙකක් ඔස්සේ ය.

පළමුවැන්න ජනතාව දැනුවටත් කිරීමේ ව්‍යාපෘතියයි .ප්‍රවෘත්ති, අධ්‍යාපනික , තොරතුරු ,වාර්තා , වැඩසටහන් , දැන්වීම් යනාදිය මීට ඇතුලත් වේ . දෙවැන්නට විහිළු , කතා , සුපර්  ස්ටාර් තරග , අවුරුදු උත්සව ප්‍රචාරය
කිරීම ඇතුළු බොහෝ දේ ඇතුළත් ය .කෙනෙකුට එක්වර ම හැඟී යනු ඇත්තේ මින් ජනමතය හැසිරවීමෙහි ලා වැදගත් වන්නේ පළමු ක්‍රමය පමණක් කියා ය . එහෙත් එය සාවාද්‍ය මතයකි . ප්‍රවෘත්ති වැනි දෙයෙහි විශාල වැදගත්කමක් ඇතැහෙත් ඒ සමාන ම වැදගත්කමක් ජනමාධ්‍ය විසින් විනෝදාස්වාද කර්මාන්තය හා සබැඳි ක්‍රියාවන් හරහා ද ලබා දී ඇත .

                යුද්ධය , ජනවාර්ගික ගැටලුව , බඩු මිල  වැනි සංවේදි ගැටලුවල දී ජනමතය මෙහෙයවන ප්‍රධාන අංගයක් බවට ප්‍රවෘත්ති නිතැතින් ම පත් වේ. යුද්ධ සමයක දී ප්‍රවෘත්තිවලට විශාල අගයක් ලැබේ . ප්‍රවෘත්ති යනු සත්‍යය යැයි සාමාන්‍ය ජනතාව විශ්වාස කරති . අපේ රටේ යුද්ධය පවතින කාලයේ  දී ජනතාව ප්‍රවෘත්ති ඇසීමට / බැලීමට වැඩියෙන් පෙළඹුණු බව සමීක්ෂණවලින් පෙනී ගොස් තිබේ . ඒ කාලයේ දී බිම් බෝම්බ ආදිය ගැන සැලකිලිමත් වීම ගැන ජනමාධ්‍ය ලබා දුන් තොරතුරු නිසා ජනතාව අවදියෙන් සිටි බවත් එනිසා ම අනතුරු වලක්වා ගත හැකි වූ බවත් අමතක කළ යුතු නැති කරුණකී .

                    එය එසේ වූව ද යුද්ධය පවතින අවස්ථාවල ලබා දෙන ප්‍රවෘත්ති සම්පූර්ණ නිවැරදි යැයි ඔබට කිව හැකි ද ? යුද්ධය සම්බන්ධව ඇතැම් නාළිකාවන් ගෙන ආ තොරතුරු ඔබ වෙත ළඟා වන්නේ පෙරහන් ක්‍රියාවලියකට බඳුන් වීමෙන් අනතුරුව ය . ඔබ අසන්නේ / දකින්නේ සත්‍ය තොරතුරු ම නො ව පෙරහන අත දරන පුද්ගලයා ඔබ දැනගත යුතු යැයි සිතන තොරතුරු ය.

                     යුද්ධයක දී එක ම සිද්ධියක් විවිධ මාධ්‍ය විවිධ ලෙස වාර්ත කිරීමට හේතුව කුමක් ද ? යුද්ධයක දී පමණක් නො ව වෙනත් ඉසව්වක් වුව ද මෙලෙස බහුවිධ වාර්තාකරණයට ලක් විය හැකි ය . ප්‍රංශ විද්වතකු  වන සමාජ විද්‍යා පිළිබඳ මහාචාර්ය ජින් බවුද්රිලාද් පවසන්නේ ලොව බොහෝ යුද්ධවලට අදාල ප්‍රවෘත්ති නිරවද්‍ය නොවන බව ය . ගල්ෆ් යුද්ධයෙ දී විවිධ පාර්ශව විසින් ඉදිරිපත් කරන ලද ප්‍රවෘත්ති සමාලෝචනය කරමින් බවුද්රිලාද් විද්වතා කියා සිටියේ ගල්ෆ් යුද්ධය සිදු වූවෙ සටන් බිමටත් වඩා රූපවාහිණි නිශ්පාදනාගාර තුළ බව ය . වැරදි තොරතුරු ප්‍රචාරය පමණක් නොව ඒ තොරතුරු සත්‍ය බව ඒත්තු ගැන්වීම සඳහා දර්ශන සැකසීම ද සිදු වේ . යුද්ධය පැවැති ප්‍රදේශවල සිට පුවත් වාර්තා කරනවා යැයි සටහන් තබන ඇතැම් මාධ්‍යවේදීන් ඒවා ලියන්නේ අගනුවර තමාගේ ගෙදර සිට දුරකථනයෙන් ලැබෙන තොරතුරු ඔස්සේ ය. කෙසේ වෙතත් වැරදි තොරතුරක් වූව ද පිළිගත් මාධ්‍යකින් ලබා දෙන විටජනතාව ඒවා විශ්වාස කරති .

                    ශ්‍රී ලංකාවේ මැතිවරණ කාලවල දී විශාල ප්‍රචාරක ව්‍යාපෘති ජනමාධ්‍ය ඔස්සේ ක්‍රියාත්මක වේ . ඉරිදා පුවත්පතක දැන්වීමක් සඳහා පිටුවකට වැය කළ යුතු මිල දල වශයෙන් රුපියල් ලක්ෂ හතක් අවම වේ . ලක්ෂ හය හතක් හෝ ඊටවැඩියෙන් වැය කර දේශපාලකයින් දැන්වීම් දමන්නේ එයින් ජනමතයට විශාල බලපෑමක් වන බව දන්නා නිසා ය . මේ දැන්වීම්වලත් තමන් දෙන පොරොන්දු එලෙස ම ඉටු කළ නොහැකි බව මේවා පළ කරන දේශපාලකයෝ බහුතරයක් දනිති .  සමහර විට මේ දැන්වීම්වල දෙන පොරොන්දු ලියා දෙන්නේ දේශපාලකයන් ගේ මාධ්‍ය අධ්‍යක්ෂකවරුන් ය . ඔවුහු ද මේවා බොරු බව දනිති .

                      එහෙත් මේ දැන්වීම් කියවන බහුතරය එසේ නො වේ . ඔවුන් මුළා කළ හැකි වේ . ප්‍රවෘත්ති හා දැන්වීම් ආදිය ගැන තත්වය එසේ ය .

                      අපි දැන් විනෝදාස්වාද අංශය කෙරෙහි යොමු වෙමු . පසුගිය කාලය තුළ මාධ්‍යවලින් ක්‍රියාත්මක වූ සුපිරි තරු ව්‍යාපෘතිය ගැන බොහෝ චෝදනා එල්ල විය. මේ සුපිරි තරු ක්‍රීඩාව අපේ රටෙහි පමණක් ක්‍රියාත්මක වන්නත් නො වේ . තව ද . බවුද්රිලාද් විද්වතා පවසන්නේ සුපිරි තරු දේශපාලනික ව්‍යාපෘතියක් ද වන බව ය . සැබෑ ප්‍රශ්නය ඔබෙන් සඟවා ඔබ ගේ අවධානය වෙනතකට යොමු කරවන්නට මෙවැනි ව්‍යාපෘතිවලට හැකි වේ . එවිට ඔබ කරනුයේ මේ සුපිරි තරු සමග හුරතල් වීම මිස ඔබේ දැවෙන ප්‍රශ්න ගැන කල්පනා නො වේ . සත්‍ය තොරතුරු ළඟා නො වීම ද වැරදි තොරතුරු ළඟා වීම තරම් ම වරදකී

                      මාෂල් මැක්ලුහන් ගේ සුප්‍රකට කියමනක් වන Medium is the Message  යන්නෙත් ම මාධ්‍ය මගින්  ජනමතය කෙරෙහි ඇති කරවන බලපෑම විදහා දැක්වේ . ලබා දෙන පණිවිඩය මාධ්‍ය මගින් තීරණය කරන අතර පණිවිඩය තරමට ම මාධ්‍යය ද බලවත් වේ . අද ව්‍යාප්ත ව ඇති අන්තර්ජාල , රූපවාහිණි , ගුවන්විදුලි පත්තර සඟරා ඇතුළු සියලු ම මාධ්‍ය තමා ලබා දෙන පණිවිඩ මගින් සමාජයෙ ජනමතය පාලනය කරයි .

                   අන්තර්ජාලය සැලකුව හොත් ඇතැම් අවථාවල විෂය කරුණු සම්බන්ධයෙන් ඒවා ලබා දෙන්නේ වැරදි තොරතුරු ය .   වෛද්‍ය විද්‍යාව සම්බන්ධ ඉතා සංවේදී තොරතුරු ද මෙලෙස වැරදි ලෙස ඉදිරිපත් වන අවස්ථා ඇත . නිදසුනක් ලෙස පිළිකා තොරතුරුවලින් ජනතාව නොමඟ ගිය අවස්ථා තිබේ . එසේ ම ලෝක විනාශය ගැන හා වෙනත් සංවේදී මාතෘකා ගැන සාවද්‍ය තොරතුරු සපයන ලද අවස්ථා තිබේ . මේ තොරතුරු විශ්වාස කරන පිරිස් ද සිටී.


කෙසේ වෙතත් මාධ්‍ය ඉදිරිපත් කරන හැම තොරතුරක් ම අසත්‍ය යැයි හෝ ඒවායින් ඇති වන සියලු ප්‍රතිළුල හානිකර යැයි කිව නොහැකි ය . නිදසුනක් ලෙස 1970 දශකයේ ඇමරියාවේ වෝටර් ගේට් සිද්ධිය හෙළි කරනු ලැබුවේ වොෂින්ටන් පෝස්තී මාධ්‍යවේදින් දෙදෙනෙකු විසිනි . එහි අවසාන ප්‍රතිළුලය වූයේ ජනාෂිපති රිචඩ් නික්සන්ට ජනාධිපතිකම අත්හැර ගෙදර යන්නට සිදු විමයි


ඉරාකයේ Desert Strom යුද මෙහෙයුම් ක්‍රියාත්මකව පවතින


අවධියේ දී ඇමරිකාවේ ප්‍රකටසඟරාවක කතුවරයෙක් එහි විශේෂාංග රචකයෙකුට කතා කොට යුද්ඬ්අය හේථුවෙන් ක්වේට් රටේතෙල් ළිං ගිනිගැනීම නිසා පරිසරයට සිදු වන හානිය ගැන ලිපියක් සම්පාදනය කරන්නට උපදෙස් දුන්නේ ය . අහසට දුම් නිකුත් වීම නිසා සිදු වන වායූ දූෂණය ගැනත් , බෝගවලට සිදු විය හැකි හානි ගැනත් විමසන ලෙස විශේෂයෙන් දැනුම් දුන්නේ ය.

මේ ගිනිගැනීම් නිසා සෘතුවල වෙනස් වීම් පවා ඇති විය හැකි බවට මතයක් එකල ඇති වී තිබිණි . ලේඛකයා මුල් පෙලේ විද්‍යාඥයන් කීප දෙනෙකු ගෙන් මේ ගැන විමසූ අතර ඒ ආශ්‍රයෙන් ඔහු ලිපියක් රචනා කළේ ය . ඔහුට පිළිතුරු දුන් විද්‍යාඥයන් ගේ අදහස වූවේ . එම ගිනිගැනීම් නිසා විශාල පරිසර ව්‍යසනයක් ගට නො ගන්නා බව ය


එසේ වූව ද අවසානයේ සඟරාවේ පළ වූයේ විද්‍යාඥයන් ගේ මතය ඇසුරෙන් බිහි වූ ලිපිය නො ව ප්‍රධාන සංස්කාරක ගේ වුවමනාව මත සංශෝධනය වූ ලේඛනයකී . එය විශාල පරිසර විනාශයක ගැන අනතුරු ගඟවන ලිපියක් විය . වොෂින්ටන් ටයිම්ස් ( 1988 අගෝස්තු 2 ) ඉදිරිපත් කරන වාර්තාවකට අනුව පරිසරය පිළිබඳ ප්‍රවෘත්තිවලින් සියයට හතළිහක් ම නිර්මාණය වන්නේ ප්‍රවෘත්ති ආයතන තුළ දී ය . එනිසා ම වැරදි තොරතුරු නිකුත් වන්නට ඇති ඉඩකඩ වැඩි ය .


ජනමාධ්‍යවලට ජනමතය හැසිරවීමේ සුපිරි බලය ලබා දෙනු ලැම ඇත්තේ ජනතාව විසින්ම ය. එසේ වූව ද අප වටහා ගත යුතුව ඇති කරුණ වන්නේ හැම ජනමාධ්‍යක්ම සර්වතෝභද්‍ර නො වන බව ය . ඒවා අපට ලබා දෙන සංදේශ ( පණිවිඩ ) වටහා ගන්නට මෙන්ම ඒ පණිවිඩය අදාළ මාධ්‍ය ආයතනයට දක්වන සබඳතාව වටහා ගන්නට ද අප සමත් විය යුතු ය . තවත් විදිහකින් කියතොත් සංඥාව නිකුත් කරන උපකරණය ( මෙහි දී මාධ්‍ය ආයතනය හා එහි න්‍යාය පත්‍රය/දෘෂ්ටිය ) කියවීමට ද සිදු වේ . සංඥාවලින් නො රැවටී සැබෑ දැනුවත් බවක් ලබන්නට නම් ඒවා අත්‍යාවශ්‍ය වේ.........:)



Friday, February 28, 2014

" මම නිර්මණශීලී ද ???? "

      තෝමස් අල්වා එඩිසන් කෙනෙකු වීමට කිසිවකුත් අකැමැති නො වනු ඇත . ඒ සඳහා උපතින් ම නිර්මාණශීලී චින්තන ශක්තියක් තිබිය යුතු යැයි බොහෝ දෙනෙක් සිතති . එය සත්‍යයකි එහෙත් බොහෝ දෙනා නො දන්නා සත්‍යය නම් එය සෑම මිනිසකු තුළ ම නිතැනින් ම පවතින බවයි . පර්යේෂණවලින් හෙළි වී ඇති පරිදි මිනිසුන් එකිනෙකා තුල පවතින නිර්මාණශීලී චින්තන ශක්තිය පුහුණුව තුළින් වැඩිදියුණු කළ හැකි ය .

      එහෙයින් නිර්මාණශීලීත්වය සුවිශේෂි පුශ්ගලයන් කීප දෙනකුට පමනක් උරුම වූ ආශ්චර්යවත් වරප්‍රසාදයක් යැයි සිතමින් තවදුරටත් ළතැවිය යුතු නො වේ . අලුත් දෙයක් ලොවට තිළිණ කර නව නිපැයුම්කරුවකු වීමට අප සැමට හැකියාව නිතැනින් ම ඇත .

      එහෙත් වර්තමානයේ බොහෝ දෙනා පුරුදු වී සිටින්නේ විශාල වැඩක් ආරම්භ කොට එය පටන් ගැන්මෙන් ම අසාර්ථක කර ගැනීමට ය. නැත හොත් වඳුරා දොඬම් ගොඩ බදාගත්තාක් මෙන් ලොව සියලු විද්‍යාඥයින් පහදා දුන් සියලු ම සිද්ධාන්ත බදාගෙන එක වැඩක් වත් හරියට කර ගැනීමට නොහැකි ව බලාසිටීම ය . එසේත් නැත හොත් තමන්ට ඉටු කරගත නොහැකි වූ  කාර්යයන් පිළිබඳව ලෝකේ නැති විවේචන ඉදිරිපත් කිරීම හෝ කල දුටු කල වළ ඉහගැනීම ය .

     ලංකාවේ වර්තමාන තත්වයට අනුව ශිෂ්‍ය පරම්පරාව තුළ මේ පටු මානසිකත්වය නැමැති වල් පැළය ඉතා සරුවට මුල් බැස ඇති බවක් පෙනේ . මන්ද යත් බොහෝ ලාංකික සිසුන් සිතන්නේ නව නිපැයුම්කරුවකු වීමට නම් ඉතා විශාල නව සොයා ගැනීමක් කළ යුතු බවත් එය ග්‍රැහැම් බෙල් සොයාගත් දුරකථනය මෙන් ලොව බොහෝ පෙරළි ඇති කරන නිර්මාණයක් විය යුතු බවත් ය . සැබැවින් ම ලාංකික මවුපියන් ද දරුවන් ගෙන් බලාපොරොත්තු වන්නේ මෙවන් ' ලොකු ' වැඩ ය .

       නිතැනින් ම මේ නිසා සිදු වන්නේ කුමක් ද ? දරුවන් ලොකු වැඩ සොයන්නට යෑමෙන් තමා ගේ සිත ගත දෙකම පීඩනයට ලක් කරගැනීම ය. එසේ ම අපේ මිනිසුන් මෙවන් ලොකු වැඩ කිරීම පිළීබඳ සිතීමට නිකරුණේ කාලය නාස්ති කරන විට ලොව වේගයෙන් දියුණු වන රටවල මිනිස්සු කුඩා යමක් මුල් කරගෙන කුඩා සිතුවිල්ලක් කුඩා නිමැවුමක් කර එය මහා පරිමාණයට වැඩ දියුණු කර අපේ ලොකු වැඩ කිරීමට සිතන පොඩි මිනිසුන්ට පෙන්වති .

        එසේ නම් නව නිපැයුම්කරුවකු වීමට එනම් තමන් සහජයෙන් ම ලද නිර්මාණශීලී චින්තන ශක්තියෙන් රටට ලෝකයට වැඩක් කිරීමට සියලු නිපැයුම්කරුවන් සැලසුම්කරුවන් අනුගමනය කළ පහත සරල සිද්ධාන්ත කිහිපය වැදගත් වනු ඇත .

1 . මිනිසුන් ගේ අවශ්‍ය්තාවයන් කෙරෙහි විමසිලිමත් වන්න . මකා පසෙකින් තැබූ කල පොත්පත් අතර සැගවුණු මකන කැබැල්ලක සොයන මිනිසුන් දුටු  හයිමන් එල් ලිප්ටන්  කලේ කුමක්ද ?? සරල ශිල්ප ක්‍රමයක් මගින් පැන්සලක් අගට මකන කැබැල්ලක් සවි කර ලොවට ඉදිරිපත් කිරීමයි .

2 . එදිනෙදා ජීවිතයේ දි කිරීමටසිදු වන අප්‍රසන්න කටයුතුවලින් ප්‍රයෝජනයක් ගන්න . නිරතුරුව ම සිය දැලිපිහිය මුවහත් කරන්නට සිදු වීමේ කරදරයෙන්  මිදීමට  කිං ගිලට්  කලේ කුමක්ද ?? භාවිතා කර ඉවත දැමිය හැකි තලයක් සහිත රේසරයක් නිපදවීමයි .

3 . ප්‍රායෝගික දැනුම භාවිතා කර ආයතනවල සහ වෙළඳසැල්වල සිවිලිම් ඇති බැක්ටීරියාවලින් ගහන කුණු පැල්ලම තට්ටු දුටු වෘත්තීය නොවන රසායනඥයකු වූ  කයිදා හැටන් සිය රසායන දැනුම භාවිතා කර සිවිලිම වෙත අධික පීඩනයක් යටතේ වලාවක් මෙන් විද පැල්ලම් තට්ටු ඉවත් කළ හැකි ද්‍රාවනයක් නිපදවී ය .

4 . කුඩා දේවල් ගැන සිතන්න නිර්මාණශීලි අදහස් යනු සංකීර්ණ දේවල් ගැන කියවෙන පණ්ඩිත වාක්‍යයන් ම නො වේ . අප ආයකටුව ලෙස හදුන්වන ආරක්ෂිත කටුව, ප්ලාස්ටර්, බැන්ඩේජිය කිඩා සිතිවිලි වලින් බිහි වූ විශිෂ්ට නිර්මාණයන් ය .

       සැබැවින් ම අප සියලු දෙනා ම සමාජය දෙස අපේ එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු දෙස මෙසේ විමසිල්ලෙන් වැලුව හොත් ඉතා සරල සිද්ධාන්තයක් උපයෝගී කරගෙන විශාල ප්‍රයෝජනවත් නිර්මාණයන් ලොවට දායාද කිරීමට හැකි වනු ඇත . මංද අපට කිසියම් දිනයක සමනලයකුට ආදරය කිරීමට හැකි වන්නට නම් අප දළඹුවන් කීප දෙනෙකු ගැනද සැලකිලිමත් විය යුතු වැවිනි....

                                           

Thursday, February 27, 2014

උඹ බයද ???



මම බය ද ? උඹ බය ද ?

උඹ බය ද ? මම බය ද ?

සියල්ලෝ බයෙන් හා තැති ගැන්මෙන්

ජීවත් වෙති....

එකිනෙකාට පහර දෙනු ලබන්නේ

තමා ගේ ඇති බිය නිසාය.....

Tuesday, February 18, 2014

අපි යන්නේ කොයි පාරේ

කෙනෙකු.....
සුවහස් කැකුළු විකසිත
නෙත්කළු වූ මාවතක්
සොයනු වස් වෙහෙසෙයි
දිවා රෑ නිදි වරා.........

තවකෙකු.....
සුවහස් කැකුළු විකසිත
නෙත්කළු වූ මාවතක්
සොයනු වස් කරයි සැලසුම්
දෙවසරක් පුරාවට.........

අනෙකෙක්.....
සුවහස් කැකුළු විකසිත
නෙත්කළු වූ මාවතක්
සොයනු වස් දකියි සිහින
නිතිපතා දිවා රෑ.........

සමහරෙක්......
නොසොයයි මාවතක් 
නොදකියි ඉදිරියක්
කාලයට ඉඩ දී
සිටියි මුව හා නෙතු අයාගෙන.........

හදවතට තට්ටු කර විමසනු
ඔබ කොතැනක දැයි කියා
උත්සහා කරනු මැන
වෙහෙසී ජය ගන්න
මුළු විශ්ව සාගරය.........







Thursday, January 30, 2014

ග්‍රහයින් ගේ ග්‍රහයින් මාරු කිරීම

          අප සැම එක විට එක මවු කුසින් උපදින්නේ නැත . එහෙත් සැමට ම පායන්නේ එකම හිරු ය, සදු ය. අප ජීවත් වන්නේ ද එකම පොලොවක ය . ඒ අනුව ඒවා භෞතික වදයෙන් එක් එක් පුශ්ගලයාට එක් එක් අයුරින් බලපාන්නේ නැත . වානරයා ශිෂ්ටසම්පන්න මානවයකු බවට පත් වත් ම ඔහු සිතන පතන ආකාරය ද වෙනස් විය . කාලයට අනුව තම ආරක්ෂාව පතා විවිධ ඇදහිලි වලට යොමු වූ ඔහු තම චින්තන ශක්තිය දියුණු වත් ම ඒවා කෙරෙන් තුරන් විය . තමාට වුවමනා පරිදි නොව  ශාස්ත්‍රකරුවන් වැනි බේගල්කරුවන්ට වුවමණා  පරිදි ජීවත් වන්නෝ අප අතර ඕනෑ තරම් සිටිති . මෙම විශ්වාස සඳහා කිසිදූ විද්‍යාත්මක පදනමක් නොමැත ( විද්‍යාව සර්වසම්පූර්ණ හෝ එමගින් සෑම දෙයක්ම පැහැදිලි කළ හැකි බවක් අදහස් නො කෙළෙමි ) අප දන්නා පරිදි ග්‍රහලෝක පෘථිවිය හැර අපට ඉතාම ඈතින් පිහිටා ඇති අතර අපට බලපෑමක් කිරීමේ හැකියාවක් ඒවාට නැති බව පෙනේ . නිව්ටන්ගේ සාර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමයන්ට අනුව ඉතා කුඩා ගුරුත්වාකර්ෂණ බලයක් ඇති විය හැකි නමුදු එමගින් ඇති විය හැකි කායික හෝ මානසික බලපෑමක් ගැන සිතාගත නොහැකි ය . සූර්යයා , චන්ද්‍රයා හ පෘථිවිය මිනිස් ජීවිතවලට එකට ම බලපෑම් ඇති කරන නමුත් ඒ අප සැමටම එකම අයුරින් ය .

            අප අතරින්  බොහොමයක් තම ජීවිතවලට සෑම වැදගත් තීරණයක් ම ගන්නේ තමාට වුවමනා පරිදි , වුවමනා වෙලාවට නොව අදාළ ජාවාරම්කරුවන්ට වුවමනා පරිදි ය . ඒ අනුව අපගේ ධනය , කාළය වැය කොට අප ක්‍රියාත්මක වන්නේ වෙනත් කෙනෙකුට වුවමනා පරිදි ය ඇතැම් අවස්ථාවල දී කර්මය පවා වෙනස් කළ හැකි ආකාර බුදු ශහමෙහි දක්වා ඇත. ඒ අනුව උත්සහයෙන් බුද්ධියෙන් කටයුතු කරන පුද්ගලයාට බොහෝ දේ වෙනස් කළ හැකි ය . ඔහුට සෑම වෙලාවක් ම සුබ වේලාවක් ය . එහෙත් සියල්ල ග්‍රහයින්ට භාර දෙන පුද්ගලයාට ග්‍රහයින් කැමැති වෙලාව එන තෙක් සිටීමට සිදු වේ . ඔහුට සියල්ල වන්නේ ග්‍රහයින් නිසා ය. මේවාට විසඳුම් ලෙස විවිධ පුද පූජා ශාන්තිකර්ම කරනු අපට නිතර දක්නට ලැබේ . ආගමික කටයුතු කෙරෙහි යොමු වීමෙන් සහනයක් ලැබෙන බව සත්‍යකී . එහෙත් පුදුමය නම් අදාල ග්‍රහ වස්තුවල පිහිටීම වෙනස් කිරීමට මොවුන් උත්සාහ  නො ගැනීමයි . ( නවීන විද්‍යාවේ දියුණුව නිස නො වන්නට මොවුන් එය ද කරනු ඇත

            අප දන්නා පරිදි තුන්කල්හී සියලු නතු පැවසිය හැක්කේ සිත දියුණු කළ ශ්‍රෙෂ්ඨ උත්තමයකුට පමණි . එහෙත් මුදලට එය මැනැවින් ඉටු කරන ශාස්ත්‍රකරුවන් සෑම අඟුපිලකම සිටිති . කෙනෙකු දුටු පමණින් ඔහුගේ සියලු නතු පැවසීමට මොවූහූ සමත් ය .ඔවුගේ ශාස්ත්‍රය මිනිසුන් රැවටීමයි . ඔවුහූ අපට වඩා බුද්ධිමත් අය නොවවෙති . වෙනස වන්නේ අපගේ බුද්ධිය විශ්වාසය මඟින් යටපත් කර ගැනීමයි. අනික මේ කොහෙවත් ඉන්න හෙනහුරෙකුට එක එක මිනිස්සුන්ට වද දෙන්න තරම් තියන අමාරුව මොකක්ද ..? .

මා පවසන දෙය සත්‍ය විය යුතුම නැත හේතුවාදි අදහස් දරන පුද්ගලයන් මෙරට ඕනෑ තරම් සිටින බව මම දනිමි . තවෙකකු ගේ විශ්වාසයට අකුල් හෙළිමට අයිතියක් මට නැත වැදගත් ම කරුණ නම් මෙය අපගේ ආගම හෝ සංස්කෘතිය සමඟ පටලවාගත යුතු නැත එහෙත්  අප වෙනත් පුද්ගලයන්ට හෝ ග්‍රහයන්ට වුවමනා පරිදි ජීවත් විය යුතුද නැත්ද යන්න සිතා බැලීමට කාළය පැමිණ ඇත....




           

Tuesday, January 21, 2014

සංගීතය උපත ලබන්නේ කොතැනින් ද ? එය මායාවක්ද ??

              අපට ශබ්දය ශ්‍රවණය වන්නේ ශබ්ද තරංග නියමිත සංඛ්‍යාතයකින් කම්පනය වීමෙනි. මෙහි ප්‍රතිළුලයක් ලෙස කන් බෙරය පිටතට හෝ මැද කන දෙසට හෝ කම්පනය වීම මෙහි දී සිදු වෙයි . ශබ්දයේ ප්‍රබලතාව , වේගය හා ප්‍රිමාව ආදිය මත මෙය තීරණය වෙයි .

      මෙම කම්පන කොතැනක සිට කුමන වස්තුවක සිට පැමිණෙන්නේ දැයි වැටහීමක් කන් බෙරයට නැත . ශබ්දය ඒකාකාර නොවෙයි . කන්ට එකවර ශබ්ද කිහිපයක් මිශ්‍ර වී ඇසෙයි . එහෙත් මේ සියල්ල පැහැදිලිව වෙන් කර හඳුනා ගැනීමට මොළය සමත්ය . මේ අපූර්වත්වය රඳා පවතින්නේ කොතැන ද ?

      අපට ශබ්දය ලෙස ඇසෙන්නේ දිගු කාලීන මානසික ක්‍රියාවලියක අවසාන ප්‍රතිළුලයයි . මොළය මගින්
මේ ශබ්දය අවබෝධ කරගත් විට අවසානයේ සංගීත නාද රටා ලෙස ශ්‍රවණය වෙයි . පසුව අපගේ මොළය ද ශබ්දය ග්‍රහණය කර ගනියි මේ සඳහා මොළයේ විශේෂ නියුරෝන සැකැස්ම උපකාරි වෙයි කාලය , ත්‍රිවතාව , තාරතාව ආදිය අවබෝධ වන්නේ ඉන් පසුව ය . මෙම ක්‍රියාවලිය සිදු වන්නේ මොළයේ පරිනාමික වශයෙන් පැරණිතම කොටස තුල ය . මෙය මුල් පියවර ය .

     මෙහි දෙවන පියවර ලැබෙන සංඥාවන් එකට එකතු කිරීම හෙවත් අනුකලන ය . ලලාට ඛණ්ඩිකාව ප්‍රදේශය මේ සඳහා වගකියයි මෙම ක්‍රියාවලිය සරල සිදුවීමක් නො වෙයි . මෙහි දී ප්‍රධාන අභියෝග තුනකට මුහුණ දීමට මොළයට සිදු වෙයි .

***   මොලය වෙත විවිධ ස්ථානවල සිට පැමිණෙන ශබ්ද කුමන ස්ථානයක සිට කුමන වස්තුවකින් කෙසේ පැමිණෙන්නේ දැයි පැහැදිලිව වෙන් කර හඳුනාගැනීමට නොහැකි වීම මුල් ගැටලුවයි.

***    දෙවැන්න විවිධ ශබ්ද රටා වෙන් කර හඳුනාගැනීමට අපහසු වීමයි.

***    තෙවැන්න කන මත වෙතට ලැබෙන පණිවිඩ සම්පූර්ණ නොවීමයි . කනට ලැබෙන ශබ්ද සමහරක් කන වෙතට පරිපූර්නව ළඟා වන්නේ නැත .

     මේ අනුව ශබ්දයක් මොළය වෙතට පැමිණි විට එය නිවැරදිව ග්‍රහනය කර ගැනීමට වෙහෙසක් දැරීමට සිදු වෙයි . අපගේ මොළය ශබ්දයක් පැමිණි විට එය ආකාර කිහිපයකට අවබෝධ කර ගැනීමත් සිදු වෙයි. පළමුව අපට ඇසෙන්නේ එදිනෙදා නිතර ඇසෙන ගීතයක්ද ? දෙවැන්න අප ගේ මතකයේ රැඳුණු සංගීත ඛණ්ඩ හෝ ගීතයක්ද ? යම් සංගීතයක් ඇසුණු විට එය ඉහත් කොටස් දෙකට ම අයත් නොවේ නම් අප ඊළඟට බලාපොරොත්තුවෙන් සිටින ආකාරයේ සංගීතයක් ලෙස එය අවබෝධ කරගැනෙයි .

     මේ අනුව මොළය අප බලාපොරොත්තු වන දෙය සත්‍ය වශයෙන් ම අපට ශ්‍රවණය වන ශබ්ද  අතර සංකලනයක් නිර්මාණය කර ගනියි.  මේ ක්‍රියාදාමය පිටිපස පරිනාමික සම්බන්ධයක්ද පවතියි . අමතක වන සිදුවීම් ගබඩා කර ගැනීමට මොළයේ සංවේදක පද්ධතියට හැකිය . මේ නිසා හදිසි අවස්ථාවකදී අමතක වන දේ වහා සිහිපත් කර ගැනීමට අවස්ථාව සැලසේ .

      මිනිස් සිත සහ සංගීතය සම්බන්ධව ප්‍රකාශ කිරීමේදි සංගීත මායා හෙවත් උපකල්පන ( llusions ) වැදගත් මෙහෙයක් ඉටු කරයි . නිදසුන් වශයෙන් මිනිස් කනට ශ්‍රවණය අවම මට්ටමේ සංඛ්‍යාතයක් වන හර්ට්ස් 2705 හා 35 දැක්විය හැකිය . මෙවැනි අවම සංඛ්‍යාතයක් සහිත සංගීත ඛණ්ඩ නිපදවීමට සංගීත භාණ්ඩවලට නොහැකි ය . එහෙත් අප ගේ කනට හඟවන්නේ අදාල සංගීත භාණ්ඩය මෙතරම් අවම සංඛ්‍යාවක් නිපදවන බවයි .

       කිසියම් ශබ්දයක් අප ගේ කනට ශ්‍රවණය වූ විට එය නිකුත් කරන ලද පරිසරය සම්බන්ධව ද උපකල්පනයක් කිරීමට මොළයට හැකියාව ලැබෙයි . නිදසුනක් වශයෙන් එම ශබ්දය පැමිණියේ වසන ලද කුටීරයකින්ද  , විවෘත කුටීරයකින්ද එළිමහනකින් හැයි පැවසීමට මොළයට පුළුවන මේ තත්වය  අධි යථාර්ථය ( Hyper - reality ) ලෙස හඳුන්වා ඇත . ශබ්දයක් ද මොළය වෙතට ළඟා වන කාල සීමාව සම්බන්ධව මොළය ඉතා සංවීදී ය .සංගීතය පිළිබඳ අපේ සියලු දෙනා රසඥතා රදා පවතිනුයේ කරුණු කිහිපයක් මතය  අපගේ අත්දැකීම් හා මොළයේ ස්නායු ව්‍යුහය මේ අතර ප්‍රධාන වෙයි විවිධ සංගීත නාද රටාවන්ට සවන් දීමෙන් අපේ මොළයේ සංගීත ප්‍රතිග්‍රහණ්‍ය දියුණු වෙයි ( කනෙන් අහලා කටින් කිව්වා වගේ :D  ) මේ අනුව බලහත්කාරයෙන් සංගීත " ස්ටාර් " ලා බිහි කරගත නොහැකි බව තහවුරු වෙයි එය කාලයත් සමඟ ප්‍රගුණ කිරීමෙන් ලබාගත යුත්තකී

ගීත ගායනය අපට ආවේණිකව පරම්පරාවෙන් උරුම වූවක් ද නැතහොත් එය ආයාසයෙන් ඉගෙන ගැනීමට හැකි ශිල්පයක් ද ??

අප සංගීතමය අභ්‍යාසවල නිරත වන විට මොළයේ කුමන ප්‍රදේශය ක්‍රියාත්මක වන්නේ දැයි මෙහි දී පෙන්වා දෙමු


1  සංගීතයට සවන් දීම ඇරඹෙන්නේ මොළයේ බාහිකයට යටින් පිහිටි ව්‍යුහවලිනි . ඒවා නම් කොචිලියර් න්‍යෂ්ටි , මොළ කටුව හා අනුමස්තිෂ්කයයි . ඉන්පසු මොළයේ දෙපසම ඇති ශ්‍රව්‍ය බාහික වෙත යයි






2  සංගීතයට මොළයේ මතක මධ්‍යස්ථානය වන හිපෝකැම්පසය ද වැදගත්ය  එසේ ම ලලාට ඛණ්ඩිකාවේ උප කොටස් ද විශේෂයෙන් ම පූර්ව ලලාට බාහිකය ද බලපායි



3  සංගීතයේ දි කෙරෙන තට්ටු කිරීම් ( තාලය ඇල්ලීම් ) සදහා අනුමස්තිෂ්කයේ කාල පරිපථ ඉවහල් වේ.




4   ලලාට ඛණ්ඩිකාවේ අපර කොටසේ ඇති චාලක බාහිකය හා සංවේදක බාහිකය ද සංගීතය ( සැලසුම් ) සදහා ඉවහල් වේ.



5   සංගීතය කියවීම සඳහා දෘශ්‍ය බාහිකය වැදගත් වේ ( දෘශ්‍ය බාහිකය පිහිටා ඇත්තේ අපර කපාල ඛණ්ඩිකාවේ ය )



6   ගී පදවලට සවන් දීම හෝ ඒවා යළි මතක් කිරීම සදහා මොළයේ භාෂා මධ්‍යස්ථානය සහය වෙයි . බ්‍රොකා ගේ පෙදෙස හා වෙර්නික් ගේ පෙදෙස මෙහි දී  ඉතා වැදගත් වේ එසේ ම ලලාට ඛණ්ඩිකාවේ හා ශංඛක ඛණ්ඩිකාවේ ඇති භාෂා මධ්‍යාස්ථානය ද ඉවහල් වේ.



7      සංගීතයෙන් අප ලබන භාවයන්  ( හැඟිම් ) සඳහා අනුමස්තිෂ්කය , පණුකය  හා ඇමිග්ලඩාව ඉවහල් වේ 

ප/ලි - සංගීත ක්‍රියාකාරිත්වයට මොළයේ සෑම කොටසක්ම ඉවහල් වේ 

ප ප/ලි - ජීව විද්‍යාව පිළිබඳ මාගෙ දැනුම අල්පයි එමනිසා මෙම ලකුණු කර ඇති තැන් වැරදි නම් මා හට                       පවසන්න .

        දැන් මා ක්‍රියාත්මක වන පෙදෙස් පෙන්වා දී ඇත . මේ අනුව සෑම කෙනෙකුටම අභ්‍යාසවල යෙදීමෙන් හොඳ ගායකයකු විය හැකි දැයි ඔබ ප්‍රශ්න කිරීමට පුළුවන මේ සදහා ස්ථිර පිළිතුරක් ලොව කිසිම තැනක පෙන්වා නැත .

         මේ අනුව පෙනී යන්නේ සංගීතය යනු හුදෙක් සංගීත භාණ්ඩ වාදනය කරමින් ගී ගැයිම පමණක් නොවන බවත් එය අප ගේ මොළය ද සම්බන්ධ කර සිදු කරන සංකීර්න ක්‍රියාවලියක් බවත්ය  අහසින් පහත් වන උල්කාපාත මෙන් ඇතැම් ගී තරු වහා දිලී වහා නිවී යන්නේ  මේ නිසා ය . සංගීතය යනු දිගුකාලීන මානසික ක්‍රියාවලියකින් දියුණු කරගත යුත්තකී එසේ නැතහොත්  බිහි වන්නේ මූසිල ගේ වෙණ වැයුම මෙන් අරුත්සුන් සංගීතයකී ........ ( දැනටමත් වෙලා ඉවරයි )


Monday, January 20, 2014

සෙල්ලම ලෙල්ලම

             " දඩාස් " ගාගෙන ආ ශබ්දයෙන් මවිතයට පත්වූ මම ගෙමිදුලට බැස අවට සෝදිසි කරන්නට විමි. " මේ ආච්චි කටවහගෙන ඉන්නවද ? අච්චිට වැඩක් නෑනෙ . ගිහින් ආච්චිගෙ වැඩක් බලාගන්න " කියමින් පහළගෙදර තරූ මල්ලි සිය අත්තම්මාට බැණ වදිනු ඇසේ .

          " අම්මපා මුන්ට සෙල්ලම් කරන්න වෙන තැන ඇත්තෙම නැද්ද ? මේ පාරෙ සෙල්ලම් කරන්නෙ . අපේ ගෙවල් දොරවල් කඩාබිඳ දමන්නෙ නැතුව  පිට්ටනියට ගියාම නරකද ? "

             යනුවෙන් අත්තම්මා පෙරළා තරූ ඇතුළු කොලු පිරිසට ඇනුම් පද කියයි. සිහුවී ඇති දෙය දැන් මට ද වැටහිණි. ළමයින් පාරේ සෙල්ලම් කරන අතරතුර වේගවත්ව ආ බෝල් පහරක් සෝමාවති අත්තම්මාගේ ගෙදර වහලයට වැදී තිබේ . එයින් උරන වූ අත්තම්මා ළමයින්ට බැණ වදියි . මැය ජීවත් වන්නේ තරූලගේ නිවසට යාබදව සදාගත් කුඩා නිවෙසකය. මෙහි බිත්ති මැටි ගඩොලින් තනා ඇති අතර වහළයට තාර කොළ සෙවෙනි කොට තිබේ.

              සීන් කයක් ද යටැසින් බලන තියුණු නෙත් සඟලකින්ද යුතු තරූ දඟකාර මුරණ්ඩු කොල්ලෙකී . ඔහුට මේ ගති ආවේශ වූයේ ඔහුගේ පියාගෙන් යැයි විටෙක මට සිතේ.

             " මේ ආච්චි කටවහගෙන ඉන්න බැරිනං මෙතනින් යන්න " කියමින් ඔහු සිය ආත්තම්මා සමඟ යලිත් වාදයට පැටලෙයි . දුරදිග නොසිතා උපහාසයට මෙන් තරූ කියූ මේ වදන් තුළින්දැඩිසේ සිත් තවුලටත් කෝපයටත් පත් අත්තම්මා . " උබලා දෝතින් ගෙනැවිත් හදාවඩා කරඳඬු උස්මහත් වුණාට පස්සේ කියන ආඩපාලි තමයි ඔය " කියමින් සිය නිවස ඉදිරිපිට තමා වාඩිවී සිටි කොස් කොටයෙන් නැගිට ගසා බසා දමා ගෙතුලට ගියා ය .

              " අනේ අම්මේ මගෙ කකුල අහුවුණා . ඉන්න බෑ රිදෙනවා " යනුවෙන් බෙරිහන් දෙන හඬක් ඊට මද වෙලාවකට පසුව මට ඇසුනු . මීට මොහොතකට පෙර කෝපාග්නියෙන් වෙලී සිටියද වෙඩරු පිඩක් මෙන්  උණුවන හදවතක් ඇති ආත්තම්මා තුළින් මේ මොහොතේ මතුවී ආයේ සානුකම්පිත සිතිවිලි දහරාවකී  " අනේ මගෙ සුදුපුතාට මොකද වුණෙ. මම කිව්වනේ පාරේ සෙල්ලම් කරන එක හොද වැඩක් නෙවීය කියලා . ඒක පාරේ යන එන මිනිසුන්ටත් කරදරයක් නෙවෑ " මම දිවගොස් බලන විට පාරේ යන බයිසිකල්කරුවෙකුගේ බයිසිකලයකට හැප්පීම නිසා තරූ බියෙන් මොර දෙයි .

               " මේ පොඩි ඈයන්ට මුළු පාරම මදි සෙල්ලම් කරන්න අනූනවයෙන්  බේරුණා . මගේ වරදක් නෑ . මුන් විහින් කරගන්න දේවල් " යැයි බයිසිකල්කරු කෝපයෙන් කෑගෑවේය . තරූට දරුණු තුවාලයක් සිදු නොවුණද මෙවිට හටගත් බිය නිසා තරූ කෑගසයි ඔහුගේ කෑගැසීම නිසාදෝ සෙල්ලමේ යෙදී සිටි අනෙක් කොලු පිරිස ඇතුළු ගම්වාසීන් කිහිප දෙනෙක් ඔහු වටකරගෙනය.

                  මේ වෙලාවේ තරූලාගේ නිවස බලාකියා ගැනීමට සිටියේ අත්තම්මා පමණි . තරූගේ පියාද රැකියාවට ගොස්ය . තරූට තව චූටි මල්ලි කෙනෙකු සිටින අතර මව ඔහුගෙ කටයුත්තක් සඳහා බැහැර ගොස්ය.

                " අපි ඉක්මනට ගිහින් තෙල් බේත් ටිකක් ගාමු "යි කියූ ඇය අසළ සිටි මාගේත් සහය ඇතිව තරූ වාරුකරගෙන සිය නිවස වෙත පියමැන්නාය . සිය මුණුපුරා ඇඳක හාන්සිකරවා හනි හනිකට මුළුතැන්ගෙට ගොස් ලිපෙහි තිබූ උණු අළු ටිකක් ගෙන පරන පිරිසිදු රෙහි කඩකට දමා පොට්ටනියක් සෑදුවාය . ඉන්පසු තෙල්බේත් බෝතලයද ළං කරගෙන තරූගේ කකුලේ පහළ සිට ඉහළට ආදාගත් පොට්ටනියෙන් කකුල තවන්නට විය . කකුලේ වේදනාව ටිකෙන් ටික නිවීයන විට තරූට සිය අත්තම්මා ගැන දුක හිතුණි . ඈ දුන් අවවාද පිළිගත්තා නම් මෙසේ නොසිතූ ලෙස අනතුරකට පත් නොවන බව ඔහුට වැටහී ගියේ දැන්ය

               " අනේ අත්තම්මේ මම ආයිත් අත්තම්මාට බනින්නේ නෑ." කියමින් තරූ තම හිත අත්තම්මාගේ ළයට තද කොට ඉකිබිඳින්නට විය . " නාඬා ඉඳින් . මම උඹත් එක්ක තරහා නෑ . මම උඹට ආදරෙයි . කියමිනත්තම්මා තරූගේ හිස අතගෑවාය