ලියාපදිංචි සාමාජිකයන් ;)

Tuesday, June 17, 2014

ජනමාධ්‍ය ජනමතය හසුරවන අයුරු

         පසුගිය දශක තුනක කාලය තිස්සේ ජනමාධ්‍ය සමාජය හා ජනමතය හසුරවන මූලිකම බලවේගයක් බවට පත් වෙමින් පවතී . ඉතා ම ඈත අතීතයේ දී එනම් පුරාතන යුගයේ දී සමාජය හා ජනමතය මෙහෙයවන බලවේගය වූවේ පුරාණොක්තිය, එනම් ඇදහිලි හා විශ්වාස හා බැඳුණු කථා ය . ඒ දෘෂ්ටිවාදී න්‍යෂ්ටිය වූයේ එම විශ්වාස මත ගොඩනැගුණු ප්‍රබන්ධ ය .ලෝකය යෝධයකු විසින් ඔසොවා සිටිනු ලබන තැනක් ලෙසත්, අහසේ සුවිශාල දේව මණ්ඩලයක් පවතින කලක දී මිනිස්සු විශ්වාස කළ හ .

         මධ්‍යතන යුගයේදි ජනමතයේ කේන්ද්‍රය වූයේ ආගම් ය. ආගමික සංවිධානවල දෘෂ්ටිවාද එකල ජනතාව ගේ සිතිවිලි හා ක්‍රියාකාරකම් මෙහෙයවී ය .

          නූතන විද්‍යාවේ හා තර්ක් ශාස්ත්‍රය කරා විස්ථාපනය වී වර්තමාන පශ්චාත් නූතන යුගයේදි ජනමතය මෙහෙයවන බලවේගය බවට ජනමාධ්‍ය වත් ව තිබේ .

          අප පත්තර බලන්නෙ නෑ  ටීවී බලන්නෙ නෑ ඒ නිසා මාධ්‍යයෙන් අපට එවැනි බලපෑමක් නෑ යැයි කෙනෙකු තර්ක කරන්නට ඉඩ තිබේ . එහෙත් එවැනි මාධ්‍ය ඇසුරු නො කරන පුද්ගලයකුට පවා මාධ්‍ය මගින් සුළු බලපෑමක් හෝ ඇති කරයි .

          මාධ්‍ය ප්‍රබල ලෙස ඇසුරු කරන පුද්ගලයාට ඇති වන බලපෑම මාධ්‍ය හා දක්වන සබඳතාවේ ස්වරූපයට අනුලෝමව සමානුපාතික ය .

            මාධ්‍යය අද අත්පත් කරගෙන සිටි මේ බලය මනෝවිද්‍යාත්මකව ද පැහැදිලි කළ හැකි ය . භීතිය ජනනය කිරීමෙන් පුද්ගලයා පාලනය කළ හැකි බව මිනිසා අවබෝඬ්අ කර ගත්තේ මනෝ විශ්ලේෂණය අද මෙන් වර්ධිත තත්වයකට පත් වන්නට බොහෝ කලකට පෙර ය .

            යම් යම් දෙයින් බියට පත් වීමත් ඒ බිය පාදක කොටගෙන චර්යාත්මක වෙනස්කම් සිදු වීමත් මිනිසාට අනන්‍ය දෙයකී . සත්ත්වයන් තුළ ද .මේ ලක්ෂණය යම් පමණකට පවතී . අතීත බැරන්වරු හා බිෂොප්වරු මිනිසුන් බිය ගැන්වීම ( ශාරීරීකව හා මානසිකව ) මගින් පාලනය ගෙන ගිය හා ඊට පෙර ගෝත්‍රික නායකයෝ ද එය කළ හ . අද ඒ බැරන්වරු ගේථ් ගෝත්‍රික නායකයන් ගේත් කාර්යය ඉටු කරන්නේ ජනමාධ්‍ය ය .අතීතයේ දී බිය පමණක් පාළනය සඳහා යොදාගත් අතර අද බිය සමග වින්දනය ද යොදා ගැනේ .

             මේ දේ ගැන බිය වන්නැයි උපදෙස් දෙන මාධ්‍යය ම.වෙන දෙයක් පෙන්වා මේ මඟින් වින්දන ලබන්න යැයි ද උපදෙස් දෙයි . " මේ මිනිසා සැක කරන්න " යනුවෙන් යම් මාධ්‍යයක් ඔබට පණිවිඩයක් දෙයි . ඇතැම් විට ඔබ එය නොතකා සිටී . එහෙත් යළි  යළිත් ඒ පණිවිඩය ම ලැබෙන්නට වුව හොත් ඔබට එය නොතකා හැරීම අසීරු වේ .

             ඔබ මාධ්‍ය සාක්ෂරතාවෙහි කූටප්‍රාප්ත අයකු නම් ඇතැම් විට ඔබට එය හසුරුවාගත හැකි වේ . එහෙත් බහුතරය එසේ නො වේ . එනිසා යම් මොහොතක දී ඔබ ඒ මාධ්‍ය සංඥාවේ ග්‍රහණයට හසු වේ . එවිට ඔබ අර පුද්ගලයා සැක කරන්නට හෝ අඩු ම වශයෙන් ඔහු සැක කළ යුතු දැයි ඔබ ගෙන් අසා ගන්නා තත්වයට පත් වේ . වින්දනයට අදාළ තත්වයද මෙබඳු මය . මාධ්‍යය යම් භාණ්ඩයක් , සේවාවක් හෝ සංකල්පයක් හෝ ඔබ වෙත පා , මෙය විඳින්න යැයි දන්වයි . දින කීපයකට පසු මාධ්‍ය උපදෙස් දුන් ආකාරයට ඔබ එය විඳිනු දැකගත හැඉ වේ .

             මාධ්‍ය  ජනතාව හසුරවන්නට ක්‍රියාත්මක වන්නේ ප්‍රධාන ක්‍රම දෙකක් ඔස්සේ ය.

පළමුවැන්න ජනතාව දැනුවටත් කිරීමේ ව්‍යාපෘතියයි .ප්‍රවෘත්ති, අධ්‍යාපනික , තොරතුරු ,වාර්තා , වැඩසටහන් , දැන්වීම් යනාදිය මීට ඇතුලත් වේ . දෙවැන්නට විහිළු , කතා , සුපර්  ස්ටාර් තරග , අවුරුදු උත්සව ප්‍රචාරය
කිරීම ඇතුළු බොහෝ දේ ඇතුළත් ය .කෙනෙකුට එක්වර ම හැඟී යනු ඇත්තේ මින් ජනමතය හැසිරවීමෙහි ලා වැදගත් වන්නේ පළමු ක්‍රමය පමණක් කියා ය . එහෙත් එය සාවාද්‍ය මතයකි . ප්‍රවෘත්ති වැනි දෙයෙහි විශාල වැදගත්කමක් ඇතැහෙත් ඒ සමාන ම වැදගත්කමක් ජනමාධ්‍ය විසින් විනෝදාස්වාද කර්මාන්තය හා සබැඳි ක්‍රියාවන් හරහා ද ලබා දී ඇත .

                යුද්ධය , ජනවාර්ගික ගැටලුව , බඩු මිල  වැනි සංවේදි ගැටලුවල දී ජනමතය මෙහෙයවන ප්‍රධාන අංගයක් බවට ප්‍රවෘත්ති නිතැතින් ම පත් වේ. යුද්ධ සමයක දී ප්‍රවෘත්තිවලට විශාල අගයක් ලැබේ . ප්‍රවෘත්ති යනු සත්‍යය යැයි සාමාන්‍ය ජනතාව විශ්වාස කරති . අපේ රටේ යුද්ධය පවතින කාලයේ  දී ජනතාව ප්‍රවෘත්ති ඇසීමට / බැලීමට වැඩියෙන් පෙළඹුණු බව සමීක්ෂණවලින් පෙනී ගොස් තිබේ . ඒ කාලයේ දී බිම් බෝම්බ ආදිය ගැන සැලකිලිමත් වීම ගැන ජනමාධ්‍ය ලබා දුන් තොරතුරු නිසා ජනතාව අවදියෙන් සිටි බවත් එනිසා ම අනතුරු වලක්වා ගත හැකි වූ බවත් අමතක කළ යුතු නැති කරුණකී .

                    එය එසේ වූව ද යුද්ධය පවතින අවස්ථාවල ලබා දෙන ප්‍රවෘත්ති සම්පූර්ණ නිවැරදි යැයි ඔබට කිව හැකි ද ? යුද්ධය සම්බන්ධව ඇතැම් නාළිකාවන් ගෙන ආ තොරතුරු ඔබ වෙත ළඟා වන්නේ පෙරහන් ක්‍රියාවලියකට බඳුන් වීමෙන් අනතුරුව ය . ඔබ අසන්නේ / දකින්නේ සත්‍ය තොරතුරු ම නො ව පෙරහන අත දරන පුද්ගලයා ඔබ දැනගත යුතු යැයි සිතන තොරතුරු ය.

                     යුද්ධයක දී එක ම සිද්ධියක් විවිධ මාධ්‍ය විවිධ ලෙස වාර්ත කිරීමට හේතුව කුමක් ද ? යුද්ධයක දී පමණක් නො ව වෙනත් ඉසව්වක් වුව ද මෙලෙස බහුවිධ වාර්තාකරණයට ලක් විය හැකි ය . ප්‍රංශ විද්වතකු  වන සමාජ විද්‍යා පිළිබඳ මහාචාර්ය ජින් බවුද්රිලාද් පවසන්නේ ලොව බොහෝ යුද්ධවලට අදාල ප්‍රවෘත්ති නිරවද්‍ය නොවන බව ය . ගල්ෆ් යුද්ධයෙ දී විවිධ පාර්ශව විසින් ඉදිරිපත් කරන ලද ප්‍රවෘත්ති සමාලෝචනය කරමින් බවුද්රිලාද් විද්වතා කියා සිටියේ ගල්ෆ් යුද්ධය සිදු වූවෙ සටන් බිමටත් වඩා රූපවාහිණි නිශ්පාදනාගාර තුළ බව ය . වැරදි තොරතුරු ප්‍රචාරය පමණක් නොව ඒ තොරතුරු සත්‍ය බව ඒත්තු ගැන්වීම සඳහා දර්ශන සැකසීම ද සිදු වේ . යුද්ධය පැවැති ප්‍රදේශවල සිට පුවත් වාර්තා කරනවා යැයි සටහන් තබන ඇතැම් මාධ්‍යවේදීන් ඒවා ලියන්නේ අගනුවර තමාගේ ගෙදර සිට දුරකථනයෙන් ලැබෙන තොරතුරු ඔස්සේ ය. කෙසේ වෙතත් වැරදි තොරතුරක් වූව ද පිළිගත් මාධ්‍යකින් ලබා දෙන විටජනතාව ඒවා විශ්වාස කරති .

                    ශ්‍රී ලංකාවේ මැතිවරණ කාලවල දී විශාල ප්‍රචාරක ව්‍යාපෘති ජනමාධ්‍ය ඔස්සේ ක්‍රියාත්මක වේ . ඉරිදා පුවත්පතක දැන්වීමක් සඳහා පිටුවකට වැය කළ යුතු මිල දල වශයෙන් රුපියල් ලක්ෂ හතක් අවම වේ . ලක්ෂ හය හතක් හෝ ඊටවැඩියෙන් වැය කර දේශපාලකයින් දැන්වීම් දමන්නේ එයින් ජනමතයට විශාල බලපෑමක් වන බව දන්නා නිසා ය . මේ දැන්වීම්වලත් තමන් දෙන පොරොන්දු එලෙස ම ඉටු කළ නොහැකි බව මේවා පළ කරන දේශපාලකයෝ බහුතරයක් දනිති .  සමහර විට මේ දැන්වීම්වල දෙන පොරොන්දු ලියා දෙන්නේ දේශපාලකයන් ගේ මාධ්‍ය අධ්‍යක්ෂකවරුන් ය . ඔවුහු ද මේවා බොරු බව දනිති .

                      එහෙත් මේ දැන්වීම් කියවන බහුතරය එසේ නො වේ . ඔවුන් මුළා කළ හැකි වේ . ප්‍රවෘත්ති හා දැන්වීම් ආදිය ගැන තත්වය එසේ ය .

                      අපි දැන් විනෝදාස්වාද අංශය කෙරෙහි යොමු වෙමු . පසුගිය කාලය තුළ මාධ්‍යවලින් ක්‍රියාත්මක වූ සුපිරි තරු ව්‍යාපෘතිය ගැන බොහෝ චෝදනා එල්ල විය. මේ සුපිරි තරු ක්‍රීඩාව අපේ රටෙහි පමණක් ක්‍රියාත්මක වන්නත් නො වේ . තව ද . බවුද්රිලාද් විද්වතා පවසන්නේ සුපිරි තරු දේශපාලනික ව්‍යාපෘතියක් ද වන බව ය . සැබෑ ප්‍රශ්නය ඔබෙන් සඟවා ඔබ ගේ අවධානය වෙනතකට යොමු කරවන්නට මෙවැනි ව්‍යාපෘතිවලට හැකි වේ . එවිට ඔබ කරනුයේ මේ සුපිරි තරු සමග හුරතල් වීම මිස ඔබේ දැවෙන ප්‍රශ්න ගැන කල්පනා නො වේ . සත්‍ය තොරතුරු ළඟා නො වීම ද වැරදි තොරතුරු ළඟා වීම තරම් ම වරදකී

                      මාෂල් මැක්ලුහන් ගේ සුප්‍රකට කියමනක් වන Medium is the Message  යන්නෙත් ම මාධ්‍ය මගින්  ජනමතය කෙරෙහි ඇති කරවන බලපෑම විදහා දැක්වේ . ලබා දෙන පණිවිඩය මාධ්‍ය මගින් තීරණය කරන අතර පණිවිඩය තරමට ම මාධ්‍යය ද බලවත් වේ . අද ව්‍යාප්ත ව ඇති අන්තර්ජාල , රූපවාහිණි , ගුවන්විදුලි පත්තර සඟරා ඇතුළු සියලු ම මාධ්‍ය තමා ලබා දෙන පණිවිඩ මගින් සමාජයෙ ජනමතය පාලනය කරයි .

                   අන්තර්ජාලය සැලකුව හොත් ඇතැම් අවථාවල විෂය කරුණු සම්බන්ධයෙන් ඒවා ලබා දෙන්නේ වැරදි තොරතුරු ය .   වෛද්‍ය විද්‍යාව සම්බන්ධ ඉතා සංවේදී තොරතුරු ද මෙලෙස වැරදි ලෙස ඉදිරිපත් වන අවස්ථා ඇත . නිදසුනක් ලෙස පිළිකා තොරතුරුවලින් ජනතාව නොමඟ ගිය අවස්ථා තිබේ . එසේ ම ලෝක විනාශය ගැන හා වෙනත් සංවේදී මාතෘකා ගැන සාවද්‍ය තොරතුරු සපයන ලද අවස්ථා තිබේ . මේ තොරතුරු විශ්වාස කරන පිරිස් ද සිටී.


කෙසේ වෙතත් මාධ්‍ය ඉදිරිපත් කරන හැම තොරතුරක් ම අසත්‍ය යැයි හෝ ඒවායින් ඇති වන සියලු ප්‍රතිළුල හානිකර යැයි කිව නොහැකි ය . නිදසුනක් ලෙස 1970 දශකයේ ඇමරියාවේ වෝටර් ගේට් සිද්ධිය හෙළි කරනු ලැබුවේ වොෂින්ටන් පෝස්තී මාධ්‍යවේදින් දෙදෙනෙකු විසිනි . එහි අවසාන ප්‍රතිළුලය වූයේ ජනාෂිපති රිචඩ් නික්සන්ට ජනාධිපතිකම අත්හැර ගෙදර යන්නට සිදු විමයි


ඉරාකයේ Desert Strom යුද මෙහෙයුම් ක්‍රියාත්මකව පවතින


අවධියේ දී ඇමරිකාවේ ප්‍රකටසඟරාවක කතුවරයෙක් එහි විශේෂාංග රචකයෙකුට කතා කොට යුද්ඬ්අය හේථුවෙන් ක්වේට් රටේතෙල් ළිං ගිනිගැනීම නිසා පරිසරයට සිදු වන හානිය ගැන ලිපියක් සම්පාදනය කරන්නට උපදෙස් දුන්නේ ය . අහසට දුම් නිකුත් වීම නිසා සිදු වන වායූ දූෂණය ගැනත් , බෝගවලට සිදු විය හැකි හානි ගැනත් විමසන ලෙස විශේෂයෙන් දැනුම් දුන්නේ ය.

මේ ගිනිගැනීම් නිසා සෘතුවල වෙනස් වීම් පවා ඇති විය හැකි බවට මතයක් එකල ඇති වී තිබිණි . ලේඛකයා මුල් පෙලේ විද්‍යාඥයන් කීප දෙනෙකු ගෙන් මේ ගැන විමසූ අතර ඒ ආශ්‍රයෙන් ඔහු ලිපියක් රචනා කළේ ය . ඔහුට පිළිතුරු දුන් විද්‍යාඥයන් ගේ අදහස වූවේ . එම ගිනිගැනීම් නිසා විශාල පරිසර ව්‍යසනයක් ගට නො ගන්නා බව ය


එසේ වූව ද අවසානයේ සඟරාවේ පළ වූයේ විද්‍යාඥයන් ගේ මතය ඇසුරෙන් බිහි වූ ලිපිය නො ව ප්‍රධාන සංස්කාරක ගේ වුවමනාව මත සංශෝධනය වූ ලේඛනයකී . එය විශාල පරිසර විනාශයක ගැන අනතුරු ගඟවන ලිපියක් විය . වොෂින්ටන් ටයිම්ස් ( 1988 අගෝස්තු 2 ) ඉදිරිපත් කරන වාර්තාවකට අනුව පරිසරය පිළිබඳ ප්‍රවෘත්තිවලින් සියයට හතළිහක් ම නිර්මාණය වන්නේ ප්‍රවෘත්ති ආයතන තුළ දී ය . එනිසා ම වැරදි තොරතුරු නිකුත් වන්නට ඇති ඉඩකඩ වැඩි ය .


ජනමාධ්‍යවලට ජනමතය හැසිරවීමේ සුපිරි බලය ලබා දෙනු ලැම ඇත්තේ ජනතාව විසින්ම ය. එසේ වූව ද අප වටහා ගත යුතුව ඇති කරුණ වන්නේ හැම ජනමාධ්‍යක්ම සර්වතෝභද්‍ර නො වන බව ය . ඒවා අපට ලබා දෙන සංදේශ ( පණිවිඩ ) වටහා ගන්නට මෙන්ම ඒ පණිවිඩය අදාළ මාධ්‍ය ආයතනයට දක්වන සබඳතාව වටහා ගන්නට ද අප සමත් විය යුතු ය . තවත් විදිහකින් කියතොත් සංඥාව නිකුත් කරන උපකරණය ( මෙහි දී මාධ්‍ය ආයතනය හා එහි න්‍යාය පත්‍රය/දෘෂ්ටිය ) කියවීමට ද සිදු වේ . සංඥාවලින් නො රැවටී සැබෑ දැනුවත් බවක් ලබන්නට නම් ඒවා අත්‍යාවශ්‍ය වේ.........:)



3 comments:

  1. ඕනෑම මාධයකට ඇජෙන්ඩා එකක් තියෙනවා. ඒත් අවුල හිරිකිතයක් නැතිව ඇජන්ඩා එකටම කඩේ යන එක තමා

    ReplyDelete
  2. අද හැම මාධ්‍යක්ම කඩේ යනවා. අන්න ඒකයි අවුල..

    ReplyDelete
  3. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete